බොහෝ දෙනෙක්ට තමන්ගේ ජීවිතයේ කවදා හෝ මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නට පුළුවන. හදිසියේම පපුව ගැහෙන්නට පටන් ගනී, හුස්ම ගන්නට අපහසු වී උගුරේ යමක් හිරවී ඇතැයි දැනේ, නැතහොත් අධික හිසේ කැක්කුමක් සහ කැරකැවිල්ලක් හට ගනී. මේ රෝග ලක්ෂණ කෙතරම් භයානකද යත්, “මට හෘදයාබාධයක්ද? නැත්නම් පිළිකාවක්ද?” වැනි බියක් සිතට ඇතුළු වේ. වහාම රෝහලට දිව ගොස් ECG පරීක්ෂණ, රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ සියල්ල සිදු කරයි. නමුත් අවසානයේ වෛද්‍යවරයා පවසන්නේ කුමක්ද? “රිපෝට් ඔක්කොම නෝමල්. ඔයාට කිසිම ලෙඩක් නෑ. මේක ස්ට්‍රෙස් එකට එන දෙයක්.” යන්නයි.
මෙම වචන ඇසූ විට රෝගියාට දැනෙන්නේ සහනයකට වඩා කෝපයකි. “මට මෙච්චර අමාරු වෙද්දිත් දොස්තරලා කියන්නේ ලෙඩක් නෑ කියලනේ, මුන්ට පිස්සුද?” කියා සිතෙයි. නමුත් සත්‍යය නම්, වෛද්‍යවරුන් නිවැරදිය. ඔබේ ශරීරයේ අවයවවල (Hardware) කිසිදු දෝෂයක් නැත. නමුත් ඔබට දැනෙන වේදනාව 100%ක්ම සත්‍යයකි. එය ඔබ මවාගන්නා බොරුවක් නොවේ. මනෝවිද්‍යාවේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ ‘Somatization’ හෙවත් කායික රෝග ලක්ෂණ තුළින් මානසික පීඩනය පිටවීම ලෙසයි. සරලවම කිව්වොත්, ඔබේ මනස හඬා වැටෙන විට, ඔබේ ශරීරයද ඒ හා සමානව කෑගසයි.
අපේ මොළය සහ ශරීරය යනු එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතින පද්ධතියකි. ඔබ දැඩි ආතතියකින්, බියකින් හෝ දරාගත නොහැකි ශෝකයකින් පෙළෙන විට, අපගේ ස්නායු පද්ධතිය ‘සටන් කිරීමේ හෝ පලා යාමේ’ (Fight or Flight) තත්ත්වයට පත් වේ. එවිට ඇඩ්‍රිනලින් වැනි හෝමෝන ශරීරයට මුදා හැරේ. මේවා නිසා හෘද ස්පන්දනය වේගවත් වීම, මාංශපේශී තද වීම සහ හුස්ම ගැනීමේ වේගය වැඩි වීම සිදුවේ. ඇත්ත වශයෙන්ම අනතුරක් (උදාහරණයක් ලෙස කොටියෙක් පන්නාගෙන ඒම වැනි) නැති විටදී පවා, සිතේ ඇති බිය නිසා ශරීරය මේ ආකාරයට ප්‍රතිචාර දැක්වීම “Health Anxiety” හෙවත් රෝග භීතිකාව දක්වා වර්ධනය විය හැක.
මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ “බිය-රෝග ලක්ෂණ චක්‍රයයි” (Fear-Symptom Cycle). එනම්, ඔබට පපුවේ වේදනාවක් දැනෙන විට ඔබ බිය වේ. ඔබ බිය වන විට මොළය තව තවත් ආතති හෝමෝන නිකුත් කරයි. එමගින් පපුවේ වේදනාව තවත් වැඩි වේ. එවිට ඔබේ බිය තවත් තීව්‍ර වේ. මෙය දාමයක් ලෙස ක්‍රියාත්මක වන අතර, රෝගියා රෝහල්වලින් රෝහලට මාරු වෙමින් ලෙඩේ සොයා ගැනීමට වෙහෙසෙයි. නමුත් ප්‍රතිකාරය ඇත්තේ රෝහලේ නොව, තමාගේම මනස සන්සුන් කරගැනීම තුළ බව ඔවුන් නොදකියි.
මෙයින් ගොඩ ඒමට නම් පළමු පියවර විය යුත්තේ ‘පිළිගැනීමයි’ (Acceptance). වෛද්‍යවරයා ඔබට කායික රෝගයක් නැති බව තහවුරු කළ පසු, එය විශ්වාස කරන්න. “මේ මගේ ශරීරයේ ප්‍රශ්නයක් නොව, මගේ ස්නායු පද්ධතියේ අධි-සංවේදීතාවක් (Hypersensitivity)” බව ඔබටම කියාගන්න. මනස සන්සුන් කරවන භාවනා ක්‍රම, ගැඹුරු ස්වසන අභ්‍යාස (Deep Breathing) සහ යහපත් ජීවන රටාවක් අනුගමනය කිරීම ඖෂධවලටත් වඩා ප්‍රබල ප්‍රතිකාරයකි. අවශ්‍ය නම් මනෝ උපදේශනයක් ලබා ගැනීමට ලැජ්ජා නොවන්න. මන්ද, සුවපත් මනසක් යනු නිරෝගී ශරීරයක අඩිතාලමයි.
